47. සයුර බලා බඳ ලෙලවා

සයුර බලා බඳ ලෙලවා – ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා
මෙතර සිටිය අය කැඳවා – මරු තුරුලට අරං ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා

වෙසක් සිරි නරඹන්නට – මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනඟ පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ – බෝට්ටුවට නැගි සතොසේ
සමහරෙකුට යන්නට හිතුනා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

බෝට්ටුවට ගොඩ වන්නේ – සතුටින් ඉපිලෙන්නේ
වේගෙන් දියඹට ඇදුනේ
අත්තක බෝට්ටුව හැපුනේ – නොදැනිම ජලයේ ගිලූනේ
ඉරණම සැමගේම විසඳුනේ

වෙසක් සඳ නැඟ එද්දී – මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ
හද සෝකෙන් ලත වෙද්දී- නෙත් කඳුලින් බර වෙද්දී
මළ මිනි ගොඩට ගෙනෙන්නේ

ආසයි බයයි ———–

පිහිනන්නට බැරුව නියා – පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා
කරුමය මෙලෙස කියා – අන්තිම ගමන ගියා
මව්පියො හිතවතුන් වැළපුනා

ඒ සිදුවු විපත අසා – රුහුණම දුකෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑසම ඔසවා – දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යළි නොමවේවා

ආසයි බයයි ———–